සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය ජනතාවගෙන් නියමිත ගාස්තුවට වඩා අසාධාරණ ලෙස මුදල් අය කළ පෞද්ගලික බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. උත්සව සමය තුළ අහිංසක මගී ජනතාව සූරාකෑමට ලක්වීම වළක්වාලීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද විශේෂ පරීක්ෂණ මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම බස් රථ හඳුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා පැවසුවේ, පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලසීමාව තුළ දිවයින පුරා බස් රථ 680ක් පමණ දැඩි පරීක්ෂාවකට ලක් කළ බවයි. එහිදී මගීන්ගෙන් අයුතු ලෙස වැඩිපුර ගාස්තු අය කර තිබූ බස් රථ 80ක් සඳහා අදාළ නීතිමය පියවර ගත් බවත්, එම බස් රථ විසින් මගීන්ගෙන් ලබාගෙන තිබූ අතිරික්ත මුදල් ඒ මොහොතේම යළි අදාළ මගීන්ටම ලබාදීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
උත්සව නිවාඩුව නිම වී ජනතාව යළිත් තම සේවා ස්ථාන කරා පැමිණෙන මෙම දිනවලදීද මෙවැනි අක්‍රමිකතා මැඩලීමේ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලධාරීහු පවසති. එබැවින්, කිසියම් බස් රථයක් නියමිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම්, වහාම ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ‘1955’ ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙස බලධාරීන් මගී ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
