පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ පවුලේ අවුරුදු සාදයක් අතරතුරදී පිහිනුම් තටාකයේ ගිලීමෙන් 6 හැවිරිදි දැරියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පැලැන්වත්ත, මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, ඇරැව්වල ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මාවතගේ ඉහන්සා නමෝදී පෙරේරා නැමැති කුඩා දැරියයි. මව විදේශගතව සිටින බැවින් නැන්දණියගේ භාරයේ හැදී වැඩුණු මෙම දැරිය, ඥාතීන් හතළිහක පමණ පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේ දිය කෙළියේ නිරත වෙමින් සිටියදී සවස 4.15 ට පමණ ජල තටාකයේ වැඩිහිටියන් සඳහා වෙන්වූ ගැඹුරු ප්‍රදේශයේ ගිලී සිටියදී මාමා කෙනෙකු විසින් දැක ගොඩට ගෙන ඇත.
අනතුරුව වහාම ප්‍රථමාධාර ලබා දී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ.
මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් මූලික ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.
උත්සව සහ නිවාඩු සමයන්හිදී කුඩා දරුවන් පිහිනුම් තටාක හෝ වෙනත් ජලාශ ආශ්‍රිතව ගැවසීමේදී ඔවුන් කෙරෙහි වැඩිහිටියන් මීට වඩා දැඩි අවධානයකින් හා සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළියන්දල පොලිසිය විසින් මේ සමඟ මහජනතාවට වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
