මතුගම සිට පොතුපිටිය දක්වා ගමන් කළ බස් රථයක් තුළදී අසරණ මවකගේ ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් වාද්දුව ප්‍රදේශයෙන් ඉතා සංවේදී පුවතක් වාර්තා වේ. දරුවන් දෙදෙනෙකු සමඟ මහමඟ අසරණ වී හඬා වැටෙමින් සිටි මෙම මවගේ දුක දුටු චම්පික ජයසේකර නම් ත්‍රීරෝද රථ රියදුරා, තම රැකියාව හෝ ආදායම පිළිබඳ නොසිතා වහා ක්‍රියාත්මක වී තිබේ. සිද්ධිය සැලවූ සැණින් මව සහ දරුවන් සිය රථයට නංවාගත් ඔහු, සැකකටයුතු බස් රථය හඹා යමින් කිලෝමීටර් ගණනාවක් ලුහුබැඳ ගොස් ඇත්තේ සැබෑ වීරයෙකු ලෙසිනි.
පොහද්දරමුල්ල ප්‍රදේශයේදී සැකකරු බස් රථයෙන් බැස පලායාමට උත්සාහ කරද්දී, ක්ෂණිකව ක්‍රියාත්මක වූ චම්පික ඔහු පසුපස හඹා ගොස් අල්ලා ගැනීමට සමත් විය. සොරකම් කරන ලද දුරකථනය සැකකරු සන්තකයේ තිබියදීම සොයාගත් ඔහු, වහාම පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කර සැකකරු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කළේය. අනතුරුව එම අසරණ පවුල වාද්දුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් අවශ්‍ය සාක්ෂි ලබාදීමටද සහාය වෙමින් පැය හතරකට අධික කාලයක් ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කළේය.
සියල්ල අවසානයේ එම මව සිය අත තිබූ රුපියල් 700ක මුදල හයර් ගාස්තුව ලෙස චම්පිකට පිරිනැමූ අවස්ථාවේ එහි සිටි සියල්ලන් පුදුමයට පත් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ. "මට සල්ලි එපා අම්මා... ඔයාලා දෙන පින මට මිල කරන්න බැහැ" යනුවෙන් පවසමින් ඔහු දැක්වූ එම උදාර මනුස්සකම, මුදලට වඩා මානුෂීය වටිනාකම් අගය කරන මිනිසුන් තවමත් අප සමාජයේ ජීවත් වන බවට මනා ආදර්ශයක් සැපයීය.
