සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අඟහරුවාදා අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් හේතුවෙන් එම පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල හමුදා අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
සවුදි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයට සිදුව ඇත්තේ සුළු දේපළ හානියක් පමණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තානාපති කාර්යාල ගොඩනැගිල්ල හිස්ව තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට එල්ල වූ ඩ්‍රෝන යානා හතරක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කළ බව සවුදි හමුදා ආරංචි මාර්ග පවසයි.
මෙම ප්‍රහාරයට සමගාමීව, සවුදි අරාබිය, කටාර්, ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග රටවල් 12කට අධික සංඛ්‍යාවක සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන "දැන්ම ඉවත් වන්න" (DEPART NOW) යනුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය බහරේනය, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් සඳහා ද අදාළ වේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක වන මෝරා නම්දාර් විසින් X පණිවිඩයක් හරහා මෙම දැනුම්දීම සිදු කර ඇති අතර, මෙවැනි වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් සමාජ මාධ්‍ය හරහා නිවේදනය කිරීම "අතිශය අසාමාන්‍ය සහ බරපතල" තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ඇමරිකානු සෙබළුන් සිව්දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ලබා දෙන ප්‍රතිචාරය "ඉක්මනින්ම දැනගත හැකි වනු ඇති" බවයි. ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති හතරක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකි බව ද ඔහු මීට පෙර පවසා තිබුණි.
පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මියගිය අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපය පුරා ප්‍රතිප්‍රහාර දියත් කරමින් පවතී. මේ වන විට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.
රියාද්, ජෙඩා සහ දරාන් යන නගරවල සිටින ඇමරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස සහ තානාපති කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස දැනටමත් උපදෙස් දී ඇත.
