අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි හෙදියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඇයගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව සිය හත් හැවිරිදි දරුවා සමඟ කුලී නිවසක ජීවත් වූ මෙම මරණකාරිය සහ 33 හැවිරිදි සැකකරු අතර කලක සිට පැවති සබඳතාවක් මත ඇති වූ ආරවුලක් මෙම අපරාධයට හේතු වී තිබේ. පෙරේදා (01) සේවය නිමවා නිවසට පැමිණි හෙදිය, එහි රැඳී සිටි සැකකරුගෙන් මිදීම සඳහා අසල්වැසි නිවසකට පලා ගොස් ඇති අතර, එහිදී ලුහුබැඳ ගිය සැකකරු ඇයට මෙම ප්‍රහාරය එල්ල කර ඇත. බරපතළ තුවාල ලැබූ ඇයව අසල්වාසීන් විසින් අරණායක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරනු ලැබීය.
මෙම ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් ඊයේ (02) දින අපරාධය සිදුවූ ස්ථානයේදී ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. මරණකාරියගේ දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (03) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
