සිය දියණිය බස් රථයට නංවා නොගැනීම සම්බන්ධයෙන් ඇති වූ කෝපය මත, ලංගම බස් රථ කොන්දොස්තරවරයෙකුට තියුණු ආයුධයකින් (කැත්තකින්) පහර දී බරපතළ තුවාල සිදු කළ සැකකරුවෙකු බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම - කෙලින්කන්ද මාර්ගයේ ධාවනය වූ බස් රථය කෙලින්කන්ද ජනපදය බස් නැවතුම්පොළ අසල නතර කළ අවස්ථාවේදී, සැකකරු විසින් බස් රථයේ රියදුරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමට උත්සාහ කර තිබේ.
එහිදී රියදුරුට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට මැදිහත් වූ, මතුගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන 45 හැවිරිදි කොන්දොස්තරවරයා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා වහාම බදුරලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට බස් රථයේ රියදුරු පියවර ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බදුරලිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
