ස්නායු රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදෙන ඖෂධ විශේෂයක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයින්ට වැඩි මිලට අලෙවි කළ දවුලගල, මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන 50 හැවිරිදි වෛද්‍යවරයෙකු දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් උපාය දූතයෙකු යොදවා දවුලගල, අලපලාවල ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථයේ තිබී එලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ අදාළ මත්පෙති 301ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වේදනා නාශකයක් ලෙස භාවිත කරන මෙම පෙති දෙකක් රුපියල් 500ක ඉහළ මුදලකට ඔහු විසින් අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීට මාස කිහිපයකට පෙර සැකකටයුතු ලෙස එන්නතක් ලබාගැනීමෙන් මියගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණයේදී, එම තරුණයා ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකුගෙන් ලබාගන්නා මත්පෙති විකුණා ඉන් ලැබෙන මුදලින් හෙරොයින් පානය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී තිබූ අතර, එම සිදුවීමට අදාළ වෛද්‍යවරයා ද මෙම සැකකරුම ද යන්න පිළිබඳව දවුලගල පොලීසිය විසින් මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
