ඉන්ධන පෝලිම් පවතින අවස්ථාවලදී බූලි සහ විවිධ භාජනවලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට දැනුම් දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා යුද හමුදා බුද්ධි අංශ යොදවා ඇති අතර, රහසිගතව ඉන්ධන රැස්කරන පුද්ගලයන් මෙන්ම ඊට අනුබල දෙන ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර ද වහාම අහෝසි කිරීමට පියවර ගෙන ඇත. තවද, මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවී, එවැනි ජාවාරම් සිදුවන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වී අදාළ පුද්ගලයන් පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණින් අද සහ හෙට දිනයන්හිදී අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට සංස්ථාව පියවර ගෙන ඇත. ඒ සඳහා නිවාඩු ලබා සිටි සියලුම සේවකයින් නැවත සේවයට කැඳවා ඇති අතර, සපුගස්කන්ද පර්යන්තයෙන් ඉන්ධන බවුසර් නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ. ඉන්ධන පෝලිම් සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් මෙම බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවට සභාපතිවරයා වැඩිදුරටත් සහතික කර සිටී.
