තම උපන්දිනය වෙනුවෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු නොකර, එම දිනය සමාජයට අර්ථවත් පුණ්‍යකර්මයක් බවට පත් කළ ආදර්ශමත් පුවතක් පසුගියදා වාර්තා විය.
ප්‍රකට ගුරුවරියක මෙන්ම අධ්‍යාපනඥයෙකු ද වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන, පිළිකා රෝගය සමඟ සටන් වදින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා රුපියල් 6,029,800 ක (මිලියන 6කට අධික) වටිනාකමකින් යුත් අති නවීන ශ්වසන ආධාරක යන්ත්‍රයක් (ICU Ventilator) මෙලෙස පරිත්‍යාග කර ඇත.
සාද පවත්වමින් විනෝද වනවාට වඩා තවත් ජීවිතයකට හුස්ම ලබාදීම උතුම් ක්‍රියාවක් බව ඇය මෙම උදාර සත්කාරය හරහා මුළුමහත් සමාජයටම පසක් කර දී තිබේ.
ඇයගේ මෙම මානුෂීය මෙහෙවර අපේක්ෂා රෝහලට පමණක් සීමා නොවූ අතර, රජයේ නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් වෙනුවෙන්ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ඇය විසින් ක්‍රියාත්මක කර ඇත. සිය පෞද්ගලික ධනයෙන් මෙවැනි සුවිශේෂී සමාජ සත්කාරයන් සිදු කිරීම තුළින්, සමාජයට දැනුම බෙදාදෙන ගුරුවරියක සතු විය යුතු උතුම් මානුෂීය ගුණය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට ඇය සමත් වී තිබේ.
ජීවිතය සැමරිය යුත්තේ තමන් ලබන සතුටින් පමණක් නොව, තවත් අයෙකුගේ ජීවිතයකට එක් කරන බලාපොරොත්තුවේ එළියෙන් බව ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය සමස්ත ලක්වාසීන්ටම කියා දෙන අනගි ආදර්ශයකි.
