gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඩුබායි සංචාරකයන්ට ශ‍්‍රී ලංකාවේදී පහර දීමේ සැලසුමක්!

විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් සිව් දෙනකු විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම්, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන දුරකතන සමූහ සංවාදයක් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ හඬපටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ‍බුද්ධි අංශ සහ අපරාධ විමර්ශන අංශ විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විනාඩි විසි දෙකක පමණ කාලයක් සිදුවන මෙම හඬ පටයේ අදහස් හුවමාරු කරගන්නේ විදේශයේ සැඟව සිටින රසල් ස්මිත්, ප්‍රංශ රූබන්, එංගලන්තයේ කුඩු ලාල් හා වැල්ලේ සාරංග යන අපරාධකරුවන් සිව් දෙනාය.

ඩුබායිහි සිටියදී අත්අඩංගුවට පත්වූ වැල්ලේ සාරංග නැමැත්තාට එරට පොලිසිය විසින් දැක්වූ අඩු සැලකිලි මුල් කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන එරට පුරවැසියන්ට පහර දීම සඳහා මෙරට සිටින සිය සහචරයන් පෙලඹවීමක් ගැන රසල් ස්මිත් මෙම සංවාදයේදී වෛරීසහගත ප්‍රකාශයක් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිද්ධියකට අදාළව වැල්ලේ සාරංග නමැත්තා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී තමාට වූ පහරදීම් ගැන මෙහිදී පවසන අතර පසුව මූත්‍රා පරීක්ෂණයේදී මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවට වාර්තා වීම මත ඩුබායි පොලිසිය විසින් ඔහුව නිදහස් කර ඇත.

අත්අඩංගුවට පත් කාලයේදී තමාට පහරදීම් හා බිරිඳ හා දරුවන් ඝාතනය කරන බවට එරට පොලිසිය විසින් තර්ජන කළ බවද වැල්ලේ සාරංග නමැත්තා මෙහිදී සඳහන් කර තිබේ.

එසේම විදෙස් ගතව සිටියදී තම මිතුරකු වූ කසුන් නමැත්තා හා තම මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙහෙය වූ අපරාධ දෙකක් පිළිබඳව වැල්ලේ සාරංග මෙහිදී සඳහන් කර ඇත.

එසේම මෙම සංවාදයේදී පුද්ගලයන් කිහිප දෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන් විසින් තමන්ව පාවා දීම හා හසුකරලීම වෙනුවෙන් කුමන්ත්‍රණයක යෙදෙන ආකාරය ගැනද පැවැසෙන අතර ඒ අනුව කිසියම් අපරාධයක සැලසුමක් සිදුවිය හැකි බවට විමර්ශන අංශවල සැකය වී තිබේ.

මහජන ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතාවලට ඇති විය හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින් පටිගත කිරීමේ සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ඇමතුමට සම්බන්ධ සියලු පුද්ගලයන් හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

රසල් ස්මිත් ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශ මූලික කරගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල කිහිපයක් ක්‍රියාත්මක කරන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර එක්සත් රාජධානියේ සිටින පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලාල් පීරිස් නොහොත් 'කුඩු ලාල්' ගේ සමීප සහකරුවකු බවද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම හඬපටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම හඬපටය විමර්ශන අංශ වෙත යොමු කර ඇති බවය. අදාළ හඬ පටය හා එහි අන්තර්ගත ආන්දෝලනාත්මක චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බවය.

- Aruna

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka