අධික වර්ෂාව හේතුවෙන් පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින්, පොලිස් අණ ද නොතකා මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකුගේ මරණයට හේතු වූ රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සාලියවැව ප්‍රදේශයේ පදිංචි ධනෂ්ක කුමාරසිංහ නැමති රියදුරා ඊයේ (14) නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී මහෙස්ත්‍රාත් පී. ආර්. අයි. ජමීල් මහතා විසින් සැකකරු ලබන ජනවාරි මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
සාමාන්‍ය රිය අනතුරකදී එල්ල වන නොසැලකිලිමත් ධාවනය පිළිබඳ චෝදනාවලට වඩා ඔබ්බට යමින්, පොලීසිය මෙහිදී සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනීමැරුම් සිදුකිරීමේ චෝදනාව, 300 වන වගන්තිය යටතේ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ චෝදනා ගොනු කර ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ තර්ක කර සිටියේ රියදුරාට මගීන් මැරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමේ පූර්ව “චේතනාවක්” (Intention) නොතිබූ බවයි. මෙහිදී සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවද ප්‍රකාශ කල නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා අවධාරණය කර ඇත්තේ පොලිස් අණ පවා නොතකා, අනතුරුදායක බව දැන දැනම බස් රථය ධාවනය කිරීම තුළින් මිනීමැරුම් චෝදනා යටතේ නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු ඇති බවයි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාර රියදුරාට එරෙහිව පොලීසිය එල්ල කර ඇති මිනි මැරුම් චෝදනා සහ මිනි මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරුගේ නීතීඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, එම චෝදනා යටතේම නඩුව පවත්වා ගෙන යෑමට ද තීන්දු කර ඇත.
එසේම මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දී ඇත්තේ, අවශ්‍යනම් සැකකරුට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් කල හැකි බවය.
මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්, පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලම හරහා ධාවනය කිරීමට උත්සාහ කර ඇත. ඒ වන විටත් කලාඔය පිටාර ගැලීම හේතුවෙන් පාලම මතින් අඩි කිහිපයක් ඉහළට ජලය ගලා යමින් තිබූ බව පැවසේ. වාර්තාවලට අනුව, ජලය බැස යන තෙක් පාලම මතින් වාහන ධාවනය නොකරන ලෙස පොලිසිය විසින් රියදුරාට දැඩි ලෙස අවවාද කර තිබුණද, මගීන් 68 දෙනෙකුගේ ජීවිත අවදානමේ හෙළමින් රියදුරා පොලිස් අණ නොතකා බස් රථය ජලය මැදින් ධාවනය කළ බව පැවසේ.
2025 නොවැම්බර් 28 (සිකුරාදා) පස්වරුවේ බස් රථය ජල පහරට හසුවී පාලමෙන් ඉවතට ලිස්සා ගොස් තිබුණි. 28 වනදා අධික වර්ෂාව සහ රාත්‍රියේ දැඩි ජල පහර හේතුවෙන් මෙහෙයුම් අසීරු වූ අතර, මගීන් අසල පිහිටි නිවසක වහලක් මත රැඳී සිටියහ. යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව නොවැම්බර් 29 වනදා උදෑසන වන විට මගීන් 66 දෙනෙකු බේරා ගැනීමට හැකි විය.
