අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සහිතව ගමන් කළ පුද්ගලයන් දෙදෙනා යුද හමුදා කමාන්ඩෝ බලකායේ නිලධාරීන් දෙදෙනකු බව ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති නිලධාරියා, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (12) දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ එහි රඳවා සිටින රැඳවූවන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ගිනි අවි සන්තකයේ තබා ගනිමින් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටින් ගමන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එලෙස දන්වා සිටියේය.
අදාළ සැකකරුවන් දෙදෙනා පෙරේදා (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඔවුන් සන්තකයේ අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළ ලේඛන නොතිබූ බවත් දන්වා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින්, මෙම නිලධාරීන් දෙදෙනා විශේෂ පුහුණුවකට සහභාගි වී යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔවුන් දෙදෙනාට ගිනි අවි සන්තකයේ තබා ගැනීමට අනුමැතිය ඇති බවද අධිකරණය වෙත දන්වා සිටියේය.
අදාළ සැකකාර නිලධාරීන් දෙදෙනා මුදාහරින ලෙසත් ඔවුන් දෙදෙනා කමාන්ඩෝ බලකායේ ප්‍රධානියා වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අදාළ ස්නයිපර් වර්ගයේ ගිනි අවිය පිළිබඳව ඉදිරියේදී නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළේය.
මූලාශ්‍රය – අරුණ
