gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පුද්ගලයින් 07 ක් මරු දුටු වෙන්නප්පුව කසිප්පු වල මීතේල් ඇල්කොහොල් විෂ...

පුද්ගලයින් හත් දෙනෙකුට මරු කැඳවූ විෂ මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයාට සහ එම මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාවන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා පවසයි.

විෂ මත්පැන් පානය කළ බව කියන පුද්ගලයින් හයදෙනෙකු පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත් විය. වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ඇඹරුම් කර්මාන්තශාලාවක නේවාසික කාමරයක් තුළ තිබී මළ සිරුරු දෙකක් හමු වූ අතර, ඒ ආසන්නයේම පිහිටි නිවසක තිබී තවත් මළ සිරුරක් පසුව සොයා ගැනිණි.

මේ අතර රෝගී තත්ත්වයෙන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර සිටි තිදෙනෙකු ද 06 වනදා අලුයම් කාලයේ මිය ගොස් ඇති අතර, එලෙස මිය ගිය අය අතර යාචකයෙකු ද වෙයි. එමෙන්ම එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් පසුගිය 07 වනදා පෙරවරුවේ මිය ගොස් ඇති අතර, මොවුන් සිව්දෙනා ද විෂ සහිත මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා, මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළේය. එම නියෝගය අනුව හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන ලදී.

මෙම පුද්ගලයින් මිය ගොස් ඇත්තේ මීතේල් ඇල්කොහොල් විෂ වීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිගමනය විය. එමෙන්ම මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කළේය. මේ අතර අදාළ විෂ මත්පැන් පානය කළ බව කියන තවත් පුද්ගලයින් අටදෙනෙකු මීගමුව මහ රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අදාළ විෂ මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාව සහ එම මත්පැන් ඇයට ගෙනවිත් දුන් බව කියන කාන්තාවක වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුහු වෙන්නප්පුව, වයික්කාල සහ තඹරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන් දෙදෙනා පසුගිය 07 වනදා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

මෙම විෂ සහිත කසිප්පු නිෂ්පාදනය කළ බව කියන ලුණුවිල, බණ්ඩිරිප්පුව, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු 07 වනදා සවස වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබිණි. තමන් විසින් පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරය පසුගිය වැසි සමයේ ජලයට ගසාගෙන ගිය බවත්, පසුව නැවත කසිප්පු නිෂ්පාදනය කිරීම සඳහා ටිනර් ගබඩා කර තිබූ බැරල් යොදාගත් බව ද ප්‍රධාන සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.

එම සැකකරු ඉකුත් 09 වනදා නැවතත් මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලැබී ඇති වාර්තා, සැකකරුගේ සහ සැකකාරියන්ගේ ප්‍රකාශ මෙන්ම, කසිප්පු පානය කිරීම හේතුවෙන් මේ වන විටත් රෝහල් ගත වී සිටින පුද්ගලයින්ගේ ද ප්‍රකාශ අනුව ප්‍රධාන සැකකරුට සහ සැකකාරියන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka